පුර පසින් පිරුණු සඳ
අව පසින් වියැකෙද්දි
සීතලෙන් කිළිපොලන
අමාවක එළඹෙද්දි
යන්තමින් ඇස ගැටෙන
පුංචි එළි තිතක් මුත්
තනි තරුව එහෙමමයි
තරිඳු රැය හැරයද්දි
දිවා කල බමර කැල
පෙම් වදන් දොඩවද්දි
සවස් කල රිදුම් දී
මල තලා පැනයද්දි
වැටෙන්නට ඉඩ නොදී
තම තුරුල්ලේ හොවන
ගස තවම එහෙමමයි
මල සෙමෙන් මියයද්දි
සිනා ගඟ නුඹේ හිත
දෙගොඩින් ගලා යද්දි
මල් යහන පාන් පැල
මර සෙනඟ කෙළෙසද්දි
නිගා බස් පද බැඳිලි
මැද සුසුම් පිටවෙද්දි
කැඩපතේ පිළිබිඹුව
නුඹට විරසක වෙද්දි
පන්හිඳට බරවෙච්චි
සුරත වෙවුලන නමුත්
ආදරේ එහෙමමයි
උඹ තාම මගෙ “සුද්දි”!
-සකුස්
පෙරෙයිදා හවස අපි වෙන්වෙලා ගිය පසුව
කැළණි ගඟ උතුරන්න තරම් වැහි වැටුණාලු
හුලං පාරට සියඹලා ගහේ මහ අත්ත
ඔයාගෙයි මගෙයි බංකුව උඩට වැටුණාලු
ආරංචි වුණ ගමන් මං ගියා ගහ ළඟට
බංකුවේ මගෙ පැත්ත අත්ත යට කුඩුවෙලා
ඔයාගේ පැත්ත නම් බේරිලා වෙලාවට
බිමට පෙරලිලත් නෑ අත්තටම බරවෙලා
මහ නගර සභාවෙන් ඇවිල්ලා කට්ටියක්
කුට්ටි කරලා අත්ත පැටෙව්වා ලොරියකට
කුඩු වෙච්ච කෑලි ටික එකතුකර ගහ මුලට
ඔයාගේ පැත්ත විසිකළා කුණු ලොරියටම
-සකුස්
මාස තුනකට විතර පස්සෙ ලියන්නෙ…
කෑම්ප් ගියා මැෂිම කැඩුණා ලෙඩ වුණා..
දැන් සේරම දෝස භංගයි.
මං ආයෙත් ලියනවා….
-සකුස්
වැසි වැටේ.
මේ ගෙවී යන්නේ වස්සානයේ සුන්දර සමයේ අවසන් භාගයයි...
හිරිපොද වැහි.... මල් වැහි....
අතීතයට එකතු වෙමින් පවතී.
දකුණුදිග අහස දම් පැහැයට හැරෙයි..
කෙමෙන් ඒ දම් පැහැය අහස වසා ගනු ඇත.
අකුණු...... ගිගුරුම්.....
මහ වැසි......
දොඹ ගෙඩිවන් වැහි බිඳු.........
යළි මිණි මිණි පොදේ තෙමි තෙමි යන්නට බැරි වේවි..
සීතලෙන් හද කිති කැවෙනු වෙනුවට සියොළඟ වෙවුලා යාවි..
තෙමි තෙමි යමු ද?
මදකට නතර වී යමු ද?
“කුඩයක් තිබුණ නම්..
නොතෙමි යන්න තිබුණා..“
ඒත් හීතලෙන් ගැලවෙන්න බැරිවේවි.
ඔව්....
අපිට දැන් ඕනෙ කුඩයක්!
ඒත් හීතල..?
හැමදේම වළක්වා ගන්න බැරිවේවි..
ඒත්,
අඩුම තරමෙ නොතෙමිවත් යන්න බලමු.
හීතලට....
අපි ඉවසමු!
-සකුස්
“හේතුවෝ..“
“හාමුදුරුවනේ…“
“උඹ මොකක්ද කර කර උන්නෙ?“
“පන්සල පහල රබර් කට්ටියෙන් දර වගයක් ඇහින්දා. ඒ ටික අඩුක් කලා හාමුදුරුවනේ.“
“හොඳා හොඳා.. උඹෙන් අහන්න හැදුවේ…. ආ.. පුංචි වලව්වෙ දානෙ කවදැයි කියලද කිව්වෙ බං?“
“ලබන සෙනසුරාදා හාමුදුරුවනේ..“
“මේ ගමන මුං මට නොකියම මැද පන්සලට ආරාධනා කොරලනෙ. මට නිකංවත් මතක් කලාද?“
“මහ නිලමෙ නැතිවුණත් හරි පුංචි වලව්වෙ ඈයො හරියට වෙනස් වෙලා හාමුදුරුවනේ..“
“මට හිතෙනව ගිහිං උන්ට දෙකක් කියල එන්න. ගමේ එකාල හැටියට උන්ට තියෙනව යුතුකමක්…. හේතුවො කුසුමගෙ ගෙදරට ගිහිං කියාපං ඇවිත් මගෙ කාමරේ අස් කරන්න කියල. හැඩිවෙලා. මං එනකං ඉන්න කියාපං කකුලෙ තෙල් වගේකුත් ගාගන්න තියෙනව.“
“එහෙයි හාමුදුරුවනේ..“
“කෝ ගෙනෙං මගෙ කෝට් බෑය….“
-සකුස්
නොබසිමි!
කීය සඳ..
අහස මුදුනේ
හිටිවනම නතරවිය.
පුන් පුරා සඳ...
කැරකුණි අහස.
සැගවීය සඳ අවරගිර.
උදාගිර හිසින්
මතුවිය දිවාකර....
-සකුස්
හොඳයි අපි පටන් ගනිමු...
බ්ලොගින්!
ලියන එක පුංචි කාලෙ ඉඳං ම මගෙ පුරුද්දක්.
මේ වෙනකොට මං නවකතා ම තුනක් ලියන්න පටන් අරං මග නවත්තල තියෙනවා.
බලමු මේකවත් දිගටම කරං යන්න පුළුවන් වෙයිද කියල....
-සකුස්