වැසි වැටේ.
මේ ගෙවී යන්නේ වස්සානයේ සුන්දර සමයේ අවසන් භාගයයි...
හිරිපොද වැහි.... මල් වැහි....
අතීතයට එකතු වෙමින් පවතී.
දකුණුදිග අහස දම් පැහැයට හැරෙයි..
කෙමෙන් ඒ දම් පැහැය අහස වසා ගනු ඇත.
අකුණු...... ගිගුරුම්.....
මහ වැසි......
දොඹ ගෙඩිවන් වැහි බිඳු.........
යළි මිණි මිණි පොදේ තෙමි තෙමි යන්නට බැරි වේවි..
සීතලෙන් හද කිති කැවෙනු වෙනුවට සියොළඟ වෙවුලා යාවි..
තෙමි තෙමි යමු ද?
මදකට නතර වී යමු ද?
“කුඩයක් තිබුණ නම්..
නොතෙමි යන්න තිබුණා..“
ඒත් හීතලෙන් ගැලවෙන්න බැරිවේවි.
ඔව්....
අපිට දැන් ඕනෙ කුඩයක්!
ඒත් හීතල..?
හැමදේම වළක්වා ගන්න බැරිවේවි..
ඒත්,
අඩුම තරමෙ නොතෙමිවත් යන්න බලමු.
හීතලට....
අපි ඉවසමු!
-සකුස්
“හේතුවෝ..“
“හාමුදුරුවනේ…“
“උඹ මොකක්ද කර කර උන්නෙ?“
“පන්සල පහල රබර් කට්ටියෙන් දර වගයක් ඇහින්දා. ඒ ටික අඩුක් කලා හාමුදුරුවනේ.“
“හොඳා හොඳා.. උඹෙන් අහන්න හැදුවේ…. ආ.. පුංචි වලව්වෙ දානෙ කවදැයි කියලද කිව්වෙ බං?“
“ලබන සෙනසුරාදා හාමුදුරුවනේ..“
“මේ ගමන මුං මට නොකියම මැද පන්සලට ආරාධනා කොරලනෙ. මට නිකංවත් මතක් කලාද?“
“මහ නිලමෙ නැතිවුණත් හරි පුංචි වලව්වෙ ඈයො හරියට වෙනස් වෙලා හාමුදුරුවනේ..“
“මට හිතෙනව ගිහිං උන්ට දෙකක් කියල එන්න. ගමේ එකාල හැටියට උන්ට තියෙනව යුතුකමක්…. හේතුවො කුසුමගෙ ගෙදරට ගිහිං කියාපං ඇවිත් මගෙ කාමරේ අස් කරන්න කියල. හැඩිවෙලා. මං එනකං ඉන්න කියාපං කකුලෙ තෙල් වගේකුත් ගාගන්න තියෙනව.“
“එහෙයි හාමුදුරුවනේ..“
“කෝ ගෙනෙං මගෙ කෝට් බෑය….“
-සකුස්
නොබසිමි!
කීය සඳ..
අහස මුදුනේ
හිටිවනම නතරවිය.
පුන් පුරා සඳ...
කැරකුණි අහස.
සැගවීය සඳ අවරගිර.
උදාගිර හිසින්
මතුවිය දිවාකර....
-සකුස්
හොඳයි අපි පටන් ගනිමු...
බ්ලොගින්!
ලියන එක පුංචි කාලෙ ඉඳං ම මගෙ පුරුද්දක්.
මේ වෙනකොට මං නවකතා ම තුනක් ලියන්න පටන් අරං මග නවත්තල තියෙනවා.
බලමු මේකවත් දිගටම කරං යන්න පුළුවන් වෙයිද කියල....
-සකුස්