Sunday, September 25, 2011

මහලු නිළියට සැමියාගෙන්….

පුර පසින් පිරුණු සඳ
අව පසින් වියැකෙද්දි
සීතලෙන් කිළිපොලන
අමාවක එළඹෙද්දි

යන්තමින් ඇස ගැටෙන
පුංචි එළි තිතක් මුත්
තනි තරුව එහෙමමයි
තරිඳු රැය හැරයද්දි

දිවා කල බමර කැල
පෙම් වදන් දොඩවද්දි
සවස් කල රිදුම් දී
මල තලා පැනයද්දි

වැටෙන්නට ඉඩ නොදී
තම තුරුල්ලේ හොවන
ගස තවම එහෙමමයි
මල සෙමෙන් මියයද්දි

සිනා ගඟ නුඹේ හිත
දෙගොඩින් ගලා යද්දි
මල් යහන පාන් පැල
මර සෙනඟ කෙළෙසද්දි

නිගා බස් පද බැඳිලි
මැද සුසුම් පිටවෙද්දි
කැඩපතේ පිළිබිඹුව
නුඹට විරසක වෙද්දි

පන්හි‍ඳට බරවෙච්චි
සුරත වෙවුලන නමුත්
ආදරේ එහෙමමයි
උඹ තාම මගෙ “සුද්දි”!
-සකුස්

4 comments:

  1. "සුද්දි" දැන් ඒ තරං නාකි වෙලාද?

    ReplyDelete
  2. වයසට ගියත් ආදරේ..!

    ReplyDelete
  3. නිර්මල ආදරේ එහෙම තමා

    ReplyDelete
  4. Observer,
    ඒක නේන්නං... සුද්දි නොහිතුවට එහෙම වුණා..

    Prasanna,
    වයස පේන්නැති ආදරේ..

    Gimhani,
    ඔව්. ආදරේ එහෙමමයි....

    ReplyDelete

පුංචි දෙයක් හරි ලියලා යන්න..