Monday, August 19, 2013

දෙවසරකට පසු….


source: http://www.deviantart.com/

හුඟක් කාලයක් හිටියා බලාගෙන
ආයෙත් දකින්නට ඔය රුව
විඳින්නට දෑඟිලි තුඩුවල සුවය
තෙරපෙන හැඟුම්වලින් නලියන

ඉතිං කියන්න…
ආයෙත් ආවෙ ඔබ
අතරමං කර යන්නද??

අතරමං කළා ‍නෙවෙයි මම
පලවැල නෙලන්නට ගිහින් වැරදුණා පාර
වංගිරියේ                                               වාලුකාවේ
කරක් ගැහුවා පාර හොය හොය
කොන්ගෝවෙදි මංමුලා වැල් පෑගිලා
                                                                                මතුවුණේ අන්දීස් කඳුවැටියෙන්
                                        ඇන්ටාටිකාවෙදි නොමැරී බේරුණත්
ඇලස්කාවෙදි පැහැරගත්තා මාව,
පිටසක්වල හමුදාවෙන්..  (ගත්තා මොළේ සාම්පල්!)

උන් හොඳ මිනිස්සු………
ඇඩ්‍රස් අහල බැස්සුවා ලංකාවෙන්…
කෙලින්ම ආවෙ ඔයා බලන්න.
ඔය ඉන්නෙ නිල් පාටට දිලිසි දිලිසි……

මං ඉන්නවා – කොහේ යන්නද මම
ඒත් ගිය ඔබ නෙවෙයි අද ඉන්නෙ
වෙනස් වෙලා ඔබ!

වෙන්නැති….

හ්ම්ම්……….

ඔව්.
වෙනස් වෙලා මම
අවුරුදු දෙකකට පස්සෙ,
බලාපොරොත්තු වෙන්නෙ කොහොමද
කලින් ඉඳපු කෙනාව ම?
ඒත් මේ ඔයාගෙ ම
මම.

Sunday, October 16, 2011

පශ්චාත්තාපය

සඳලුතලයෙන්
ගිලිහුණ කඳුළක්
මුව මත වැටෙන තුරු
බලා සිටි
නිදිකුම්බා මල....


ඳුර පිටින්ම ගලවා
විසි කළෙමි ඈතකට...


ඳුළ නොවැටුණි....


සඳලුතලයෙන්
වැටුණි පහළට
ඳුළු බිඳුවේ අයිතිකාරිය.....

Sunday, September 25, 2011

මහලු නිළියට සැමියාගෙන්….

පුර පසින් පිරුණු සඳ
අව පසින් වියැකෙද්දි
සීතලෙන් කිළිපොලන
අමාවක එළඹෙද්දි

යන්තමින් ඇස ගැටෙන
පුංචි එළි තිතක් මුත්
තනි තරුව එහෙමමයි
තරිඳු රැය හැරයද්දි

දිවා කල බමර කැල
පෙම් වදන් දොඩවද්දි
සවස් කල රිදුම් දී
මල තලා පැනයද්දි

වැටෙන්නට ඉඩ නොදී
තම තුරුල්ලේ හොවන
ගස තවම එහෙමමයි
මල සෙමෙන් මියයද්දි

සිනා ගඟ නුඹේ හිත
දෙගොඩින් ගලා යද්දි
මල් යහන පාන් පැල
මර සෙනඟ කෙළෙසද්දි

නිගා බස් පද බැඳිලි
මැද සුසුම් පිටවෙද්දි
කැඩපතේ පිළිබිඹුව
නුඹට විරසක වෙද්දි

පන්හි‍ඳට බරවෙච්චි
සුරත වෙවුලන නමුත්
ආදරේ එහෙමමයි
උඹ තාම මගෙ “සුද්දි”!
-සකුස්

Thursday, August 4, 2011

අපේ බංකුව

පෙරෙයිදා හවස අපි වෙන්වෙලා ගිය පසුව
කැළණි ගඟ උතුරන්න තරම් වැහි වැටුණාලු
හුලං පාරට සියඹලා ගහේ මහ අත්ත
ඔයාගෙයි මගෙයි බංකුව උඩට වැටුණාලු

ආරංචි වුණ ගමන් මං ගියා ගහ ළඟට
බංකුවේ මගෙ පැත්ත අත්ත යට කුඩුවෙලා
ඔයාගේ පැත්ත නම් බේරිලා වෙලාවට
බිමට පෙරලිලත් නෑ අත්තටම බරවෙලා

මහ නගර සභාවෙන්  ඇවිල්ලා කට්ටියක්
කුට්ටි කරලා අත්ත පැටෙව්වා ලොරියකට
කුඩු වෙච්ච කෑලි ටික එකතුකර ගහ මුලට
ඔයාගේ පැත්ත විසිකළා කුණු ලොරියටම
-සකුස්

Sunday, July 17, 2011

කලකින් ලියමි..

මාස තුනකට විතර පස්සෙ ලියන්නෙ…
කෑම්ප් ගියා මැෂිම කැඩුණා ලෙඩ වුණා..
දැන් සේරම දෝස භංගයි.
මං ආයෙත් ලියනවා….
-සකුස්

Sunday, April 24, 2011

මහ වලාකුළාක් මේ එන්නේ.....

වැසි වැටේ.

මේ ගෙවී යන්නේ වස්සානයේ සුන්දර සමයේ අවසන් භාගයයි...
හිරිපොද වැහි....        මල් වැහි....
අතීතයට එකතු වෙමින් පවතී.

දකුණුදිග අහස දම් පැහැයට හැරෙයි..
කෙමෙන් ඒ දම් පැහැය අහස වසා ගනු ඇත.
අකුණු......                ගිගුරුම්.....
මහ වැසි......

දොඹ ගෙඩිවන් වැහි බිඳු.........

යළි මිණි මිණි පොදේ තෙමි තෙමි යන්නට බැරි වේවි..
සීතලෙන් හද කිති කැවෙනු වෙනුවට සියොළඟ වෙවුලා යාවි..


තෙමි තෙමි යමු ද?
මදකට නතර වී යමු ද?


“කුඩයක් තිබුණ නම්..
  නොතෙමි යන්න තිබුණා..“
ඒත් හීතලෙන් ගැලවෙන්න බැරිවේවි.


ඔව්....
අපිට දැන් ඕනෙ කුඩයක්!


ඒත් හීතල..?


හැමදේම වළක්වා ගන්න බැරිවේවි..
ඒත්,
අඩුම තරමෙ නොතෙමිවත් යන්න බලමු.


හීතලට....


අපි ඉවසමු!

-සකුස්

 

Wednesday, April 20, 2011

අනේ සාදු……!

“හේතුවෝ..“

“හාමුදුරුවනේ…“

“උඹ මොකක්ද කර කර උන්නෙ?“

“පන්සල පහල රබර් කට්ටියෙන් දර වගයක් ඇහින්දා. ඒ ටික අඩුක් කලා හාමුදුරුවනේ.“

“හොඳා හොඳා.. උඹෙන් අහන්න හැදුවේ…. ආ.. පුංචි වලව්වෙ දානෙ කවදැයි කියලද කිව්වෙ බං?“

“ලබන සෙනසුරාදා හාමුදුරුවනේ..“

“මේ ගමන මුං මට නොකියම මැද පන්සලට ආරාධනා කොරලනෙ. මට නිකංවත් මතක් කලාද?“

“මහ නිලමෙ නැතිවුණත් හරි පුංචි වලව්වෙ ඈයො හරියට වෙනස් වෙලා හාමුදුරුවනේ..“

“මට හිතෙනව ගිහිං උන්ට දෙකක් කියල එන්න. ගමේ එකාල හැටියට උන්ට තියෙනව යුතුකමක්…. හේතුවො කුසුමගෙ ගෙදරට  ගිහිං කියාපං ඇවිත් මගෙ කාමරේ අස් කරන්න කියල. හැඩිවෙලා. මං එනකං ඉන්න කියාපං කකුලෙ තෙල් වගේකුත් ගාගන්න තියෙනව.“

“එහෙයි හාමුදුරුවනේ..“

“කෝ ගෙනෙං මගෙ කෝට් බෑය….“

-සකුස්